Saturday, July 24, 2010

සිසු විරුවන් මැවීම සහ මාර්කට් කිරීම....


රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මරණය ගැන පසුගුය දිනක අහන්නට ලැබිණි.එහෙත් මෙම බ්ලොග් සටහන ලිවීමට මූලික වූවේ එම මරණය මාධ්‍ය මඟින් නිර්ලජ්ජිත ලෙස වෙන්දේසි කිරීමය.
මෙම සිද්ධිය හා සම්බන්ධ පාර්ශව කීපයක් මම හඳුනා ගනිමි.රජය( පොලිසිය සහ විශ්ව විශ්වවිද්‍යාල බලධාරීන් මෙහි අවයව ලෙස හඳුනාගමු ) ,ශිෂ්‍ය ව්‍යාපාර ,මිය ගිය සිසුවාගේ පාර්ශවය සහ විශ්ව විද්‍යාල ප්‍රජාවයි(වි.වි ප්‍රජාව ලෙස මා හඳුන්වන්නේ තවමත් ජීවත්වන අනෙක් ශ්‍රී ලාංකික වි.වි. සිසුන්ය )
සිසු ඝාතන සම්බන්ධයෙන් ලංකාවට ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි.එක කලෙක වි.වි. සිසුන් ත්‍රස්තවාදීන් පිරිසක් ලෙස රජය විසින් හඳුනා ගන්නා ලදී.එවන් සමයන්හිදී අපට අහිමි වුන බුද්ධිමත් තරුණයන්ගේ ජීවිත ගණන අපමණය.එහෙත් අප කතා කරන මේ ආසන්නතම සිද්ධියේදී විවිධ පාර්ශව එකිනෙකාට පරස්පර චෝදනා එල්ලකරගනිති.රජයේ මාද්‍ය හරහා කියැවෙන්නේ මෙය සිසු ක්‍රියාකාරිකයෙක් විසින් සිදු වූ බවයි,තවද මෙය ස්වාභාවික සිදුවීමක් බවද කියැවෙයි.එහෙත් රජයට පිළිමල් වන ශිෂ්‍ය ව්‍යාපාර සුපුරුදු ලෙසට මෙය රජයේ ගිණුමටම බැර කිරීමට තැත් දරයි.මේ දෙස බලා සිටින මට සිතෙන්නේ මෙම දෙපිරිස මියගිය සිසුවාගේ දේහයෙන් එකිනෙකාට ගසා ගන්නා බවයි.පැහැදිළි එක් කරුණක් නම් මොවුන්ගෙන් කිසිවකුට මෙම මරණය ගැන වේදනාවක් නැති බවයි.මිනියට කර ගසන්නට පෝලිමේ එනවුන්ගේ පරම අභිප්‍රාය නොමල සිසුන්ගෙන් ලකුණු දමා ගැනීම බව අප තේරුම් ගත යුතුය.
මෙම ශෝචනීය මරණයෙන් අවංකව වැලපෙන එකම පාර්ශවය ලෙස මට පෙනෙන්නේ ඔහුගේ පවුලේ උදවිය පමණි.ඔහුගේ මවගේ කඳුල ඉල්ලා සිටින්නේ කුමක්ද ? තම මියගිය පුතුට අහිමි වු නිදහස් අධ්‍යාපනය නොව හුස්ම ගැනීමේ නිදහසයි.තරුණ මදය සමඟ වාමාංශික ගිනිසිළුවෙන් පන්නරය ලැබූ ශිෂ්‍ය ව්‍යාපාරවලට ඔහුගේ "හුස්ම ගැනීමේ නිදහස" මඟ හැරෙන්නට ඇත.එසේත් නැත්නම් ඔහුගේ ප්‍රාණ වායුවෙන් නව ඊනියා අරගලයකට ජීවය ලබා දෙන්නට සූදානම් වෙනවා ඇත.වි.වි වල සංවර්ධනයෙහි යෙදී සිටින රජයට මෙවන් සිදුවීම් ඇතිවීමට හේතු සෙවීමට තරම් වෙලාවක් නැතිවිය යුතුය.
අවසානයේදී කිව හැකි එක දෙයක් පමණි එය කිව යුත්තේ මා සිවු වෙනුවට සඳහන් කළ වි.වි. ප්‍රජාවටය.සිසු ගැටුම ආකර්ශනීයය , රාජ්‍ය විරෝධී උද්ඝෝශන ලොමුඩැහැගන්වනසුලුය හරිම ත්‍රිල්ය.එහෙත් තම වසර ගනණක් අනේක දුක් වේදනා විඳ ලබාගත් නිදගස් අධ්‍යාපන වරම පසෙක තබා අත්පුඩියට විසිල් එකට තම ජීවිතය ඊනියා ශිෂ්‍ය ව්‍යාපාර වල උකස් නොකළ යුතුය.අවසානයේදී අපට පොළිය ගෙවීමට සිදුවන්නේ අපේ වටිනා ජීවිතයෙනි.ඔවුන්ගේ කොඩිවැල් ,මල් වඩම් ,ආචාර,නිසදැස්,කව් පද ඔබට නොපෙනේ නොඇසේ.මිය ගිය ඔබ වීරයෙක් වන්නේ ඔබට නොවේ එය ඔවුන්ගේ මතු ආයෝජනයක්ම පමණි.
අනෙකුගේ නෙත් වලින් මඟ සොයා වෙහෙසිලා
ආ මඟද සොයා ගනු බැරිව වල්මත් වෙලා
යන මඟක් දත් අයෙක් වීද නොව මංමුලා
සබඳ අසනුව මැනැවි හදවතට ළං වෙලා

මූණු පොතෙන් එකතු කර ගන්න

Search

Pages