Saturday, July 24, 2010

සිසු විරුවන් මැවීම සහ මාර්කට් කිරීම....


රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මරණය ගැන පසුගුය දිනක අහන්නට ලැබිණි.එහෙත් මෙම බ්ලොග් සටහන ලිවීමට මූලික වූවේ එම මරණය මාධ්‍ය මඟින් නිර්ලජ්ජිත ලෙස වෙන්දේසි කිරීමය.
මෙම සිද්ධිය හා සම්බන්ධ පාර්ශව කීපයක් මම හඳුනා ගනිමි.රජය( පොලිසිය සහ විශ්ව විශ්වවිද්‍යාල බලධාරීන් මෙහි අවයව ලෙස හඳුනාගමු ) ,ශිෂ්‍ය ව්‍යාපාර ,මිය ගිය සිසුවාගේ පාර්ශවය සහ විශ්ව විද්‍යාල ප්‍රජාවයි(වි.වි ප්‍රජාව ලෙස මා හඳුන්වන්නේ තවමත් ජීවත්වන අනෙක් ශ්‍රී ලාංකික වි.වි. සිසුන්ය )
සිසු ඝාතන සම්බන්ධයෙන් ලංකාවට ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි.එක කලෙක වි.වි. සිසුන් ත්‍රස්තවාදීන් පිරිසක් ලෙස රජය විසින් හඳුනා ගන්නා ලදී.එවන් සමයන්හිදී අපට අහිමි වුන බුද්ධිමත් තරුණයන්ගේ ජීවිත ගණන අපමණය.එහෙත් අප කතා කරන මේ ආසන්නතම සිද්ධියේදී විවිධ පාර්ශව එකිනෙකාට පරස්පර චෝදනා එල්ලකරගනිති.රජයේ මාද්‍ය හරහා කියැවෙන්නේ මෙය සිසු ක්‍රියාකාරිකයෙක් විසින් සිදු වූ බවයි,තවද මෙය ස්වාභාවික සිදුවීමක් බවද කියැවෙයි.එහෙත් රජයට පිළිමල් වන ශිෂ්‍ය ව්‍යාපාර සුපුරුදු ලෙසට මෙය රජයේ ගිණුමටම බැර කිරීමට තැත් දරයි.මේ දෙස බලා සිටින මට සිතෙන්නේ මෙම දෙපිරිස මියගිය සිසුවාගේ දේහයෙන් එකිනෙකාට ගසා ගන්නා බවයි.පැහැදිළි එක් කරුණක් නම් මොවුන්ගෙන් කිසිවකුට මෙම මරණය ගැන වේදනාවක් නැති බවයි.මිනියට කර ගසන්නට පෝලිමේ එනවුන්ගේ පරම අභිප්‍රාය නොමල සිසුන්ගෙන් ලකුණු දමා ගැනීම බව අප තේරුම් ගත යුතුය.
මෙම ශෝචනීය මරණයෙන් අවංකව වැලපෙන එකම පාර්ශවය ලෙස මට පෙනෙන්නේ ඔහුගේ පවුලේ උදවිය පමණි.ඔහුගේ මවගේ කඳුල ඉල්ලා සිටින්නේ කුමක්ද ? තම මියගිය පුතුට අහිමි වු නිදහස් අධ්‍යාපනය නොව හුස්ම ගැනීමේ නිදහසයි.තරුණ මදය සමඟ වාමාංශික ගිනිසිළුවෙන් පන්නරය ලැබූ ශිෂ්‍ය ව්‍යාපාරවලට ඔහුගේ "හුස්ම ගැනීමේ නිදහස" මඟ හැරෙන්නට ඇත.එසේත් නැත්නම් ඔහුගේ ප්‍රාණ වායුවෙන් නව ඊනියා අරගලයකට ජීවය ලබා දෙන්නට සූදානම් වෙනවා ඇත.වි.වි වල සංවර්ධනයෙහි යෙදී සිටින රජයට මෙවන් සිදුවීම් ඇතිවීමට හේතු සෙවීමට තරම් වෙලාවක් නැතිවිය යුතුය.
අවසානයේදී කිව හැකි එක දෙයක් පමණි එය කිව යුත්තේ මා සිවු වෙනුවට සඳහන් කළ වි.වි. ප්‍රජාවටය.සිසු ගැටුම ආකර්ශනීයය , රාජ්‍ය විරෝධී උද්ඝෝශන ලොමුඩැහැගන්වනසුලුය හරිම ත්‍රිල්ය.එහෙත් තම වසර ගනණක් අනේක දුක් වේදනා විඳ ලබාගත් නිදගස් අධ්‍යාපන වරම පසෙක තබා අත්පුඩියට විසිල් එකට තම ජීවිතය ඊනියා ශිෂ්‍ය ව්‍යාපාර වල උකස් නොකළ යුතුය.අවසානයේදී අපට පොළිය ගෙවීමට සිදුවන්නේ අපේ වටිනා ජීවිතයෙනි.ඔවුන්ගේ කොඩිවැල් ,මල් වඩම් ,ආචාර,නිසදැස්,කව් පද ඔබට නොපෙනේ නොඇසේ.මිය ගිය ඔබ වීරයෙක් වන්නේ ඔබට නොවේ එය ඔවුන්ගේ මතු ආයෝජනයක්ම පමණි.

Saturday, June 5, 2010

"අ"යන්නෙන් "අයිෆා" "ඉ"යන්නෙන් "ඉන්දියා" "ඩ"යන්නෙන් "ඩයස්පෝරා"...... .........


කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇත, මාර්ග වසා ඇත ඉන්දියානු නළු නිළියන්ට ඉන්දියානුවන් විසින්ම සම්මාන දෙන අයිෆාව මෙවර ලංකාවේදී පැවැත්වේ.වෙනදා පැය 24 ම බොලිවුඩ් ගැන කතා කරන FM ගිරා ගිරවියන්ට මේ දිනවල මඳ අස්වැසිල්ලක් ලැබී ඇත.ඒ මුළු අමාත්‍ය මන්ඩලයම ඔවුන්ගේ ලංකා ආගමනය ගැන කතා කිරීමයි.ඔවුන්ට ජාතික මට්ටමේ ප්‍රාඥයෝද එකතු වී සිට්ති.
වෙනදා අයිෆාවේ ඉදිරි පෙළ අසුන් පිරවූ ෂාරුක් ඛාන්, ඓශ්චර්යා
රායි වැනි බොලිවුඩයේ ජන්ප්‍රියත්වයේ කෙළ පැමිණි සිනමා තරු
කිහිපයක් හා අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ම මෙවර අයිෆාවට
පැමිණ නැත.වෙන එකක් තබා අයිෆාහි සන්නාම තානාපති වන
ලොකු බී (අමිතාබ් බච්චන්) ද සම්මාන උළෙලට නොපැමිනෙන
බව දන්වා ඇත.
මේ මොහොත වන විට ලංකාව තුළ පවතින (හෝ මවා ඇති )
ඊනියා ජාතික ප්‍රශ්නය මෙම සුපිරිම තරුවල අයිෆා අනාගමනයයි.
පසුගිය අප්‍රේල් 20 වැනි දින ලංකාවට පැමිණ ලංකාවේ ඉපදීමට
වරම් නොලැබීම ගැන පසුතැවිලි වන ආකාරයේ කතාවක් කල
ලොකු බී එක් වරම තම පවුලම අයිෆාවට නො එනබව කියා
ඇත.2004 දී ලංකාවට පැමින සිය දිවියේ පළමු වරට සෙලොලොයිඩ්
තිරයෙන් පිට බෝම්බ ජවනිකාවකට පණ පෙවීමට වරම් ලද රජ
ඛාන්ද මෙවර ඉන්දියාවේ නැවතී ඇත්තේ එම ජවනිකාවට අපේ
කට්ටිය මුදල් නොගෙවූ නිසාද නොදනිමි.කෙසේ වෙතත් මොවුන්ගේ
සහභාගි නොවීමෙන් මෙම උළෙලෙහි පමණක් නොව ශ්‍රී ලංකාව
පිලිබඳ ජාත්‍යන්තරප්‍රතිරූපයෙහිද දීප්තිමත් සාධකයට බලපෑමක්
එල්ලවී ඇත.කෙසේ වෙතත් මොවුන්ගේ සහභාගි නොවීමෙන්
මෙම තත්වය උදා වීමට මූලික හේතුව ජාත්‍යන්තර දෙමළ
ඩයස්පෝරාවේ මෙහෙයවීම මත සහ අන්තවාදී දෙමළ
බෙදුම්වාදීන් විසින් ඉන්දියාව පුරා සිදුකරන උද්ඝෝෂණ බව
සක්සුදක් සේ පැහැදිලිය.සිනමා ලොවේ ධවල වීරයන් මෙම
බලපෑම් වලට බියවී ඉන්දියාවේ වකුටු වී සිටින්නේ ඇයිදැයි
යමෙක් ප්‍රශ්න කරනු ඇත.එහෙත් අප අමතක නොකළ යුතු එක්
දෙයක් නම් ඉන්දීය සිනමා කරුවන්ගේ පදනම පවතින්නේ ඉන්දීය
(හින්දු,මුස්ලිම් හෝ ද්‍රවිඩ....) ජනතාවගේ කැමැත්ත මත යන්නය.
ලංකාවට පැමිණ නටා ගයා ක්‍රිකට් තරඟයක්ද සෙල්ලම් කර ජනපති
මැදුරටද ගොස් කා බී සමූහ ඡායාරූප පුරවා ඉන්දියාවට ගියපසු
මිලියන 60ක් වූතමිල්නාඩු ද්‍රවිඩ ජනතාව ඔවුන්ගේ සිනමා නිශ්පාදන
ප්‍රතිෂේප කළහොත් ඔවුනට කල කල දසාව කුමක්ද?
වසරකට හින්දි සිනමාපට බැලීමට සතයක්වත් වියදම් නොකරන
( බහුතර ) අපෙන් ඔවුන්ට එම පාඩුව පියවාගතගැකිද? එසේ නම්
ඔවුන් විසින් අයිෆාව මඟ හැරීමට ගත් තීරණය සධාරණය.
ශ්‍රී ලාංකිකයන් ලෙස මින් මතුවන පණිවුඩය අපනිවැරදිව අවබෝධ
කරගත යුතුය.එනම් ජාත්‍යන්තර ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවට
එරෙහිව දියත් කර ඇති ආක්‍රමනශීලී මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මක වන
බවය.ඔවුන්ගේ සන්නද්ධ කණ්ඩායම් මර්ධනයත් සමඟම මෙම බලපෑම
පිළිබඳ බොහෝ දෙනාට අමතක විය.
යුධ නිමාවෙන් වසරකට පසු එම ජාත්‍යන්තර බලපෑම තීව්‍ර වී ඇත.මානව
හිමිකම් පිළිබඳ චෝදනා මෙන්ම ෆිලිප් ඇල්ස්ටන් හා නවනීදන් පිල්ලේලා
ගේ අපක්ෂපාතී කොමිසම් සිහිනයද මෙම බෙදුම්වාදී නාඩගමට
අත්වැල සපයමින් සිටියි.
ලංකාව තුළ ජාතිකත්වය නිසා යම් ප්‍රතිලාබයක් ලබන යම් පිරිසක් ඇත්නම්
ඒ ද්‍රවිඩ ජනතාවයි.උතුරේ ක්‍රියාත්මක වන තේසවලමේ නීතියෙන් ලංකාවේ
ද්‍රවිඩ නොවන ජාතීන්ගෙ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වී ඇත.
මීට අමතරව පනහට පනහේ සිට ස්වයං පාලනය දක්වා ලෙඩක් නැතිව ගිල්ල
ඊනියා ද්‍රවිඩ ,බටහිර වෙදුන්ගේ බෙහෙත් ගුලි නිසා ලංකාවට සෑදුනු ජාතික
අජීරණය තවමත් විටින් විට වේදනාදෙමින් පවතී.
අද ලංකාව ගැන ලියවෙන කවර විදේශ (බොහෝ විට බටහිර ) ලිපි හෝ පුවත්
වල කියැවෙන්නේ සිංහලදෙමළ අර්බුදයක් රට තුළ තිබෙන බවටත් එය විසඳීමට
ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවටත්ය. කොළඹ රාජකීය විද්‍යාලයේ සංවත්සරය
ගැන පලවූ බීබීසී වාර්තාවක විශේෂයෙන් සඳගන්වූයේ එහි ද්‍රවිඩ ජාතික සිසුන්
ඉගෙනුම ලබන බවටය.සිංහලයන් හා ද්‍රවිඩයන් එකට අධ්‍යාපනය ලැබීම ඔවුනට මැජික්ය.
මෙම කරුණ ගෙන හැර පාන ආකාරයට මහ ජාතිය කළු පාර්ශවයත් සුළු ජාතිය සුදු
පාර්ශවයත් යන හැඟීම කියවන්නාගේ මනසට එන්නත් වේ.ඉස්ලාම් සිසුවියන්ගේ
පර්දාවට තහන්චි දැමූ බටහිරයන් ලංකාවේ
නැති ප්‍රශ්නයක අවුලවා බොර දියේමාළු බෑමට උත්සාහදරයි.
සංරක්ශනාරෝපයෝගීව මෙම ඊනියා ගැටළුව හමුවේ හැසිරෙන ඉන්දියන් සාධකයද
අපට අමතක කළ නොහැක.එදා 1947 දී අගමැති ධූරයෙන් මොහොමඩ් අලිජින්නා
පිදුවානම් ලොකු ඛාන්ට "චලෙ චයියා චයියා" කියමින් බිං ගෙවල් අස්සේ නටන්නට
ඉඩ නොලැබෙන්නට තිබිණි.මෙවැනි අභ්‍යන්තර ප්‍රශ්න විසදීමෙහි කුප්‍රකට ඉන්දියාව
සමඟ කටයුතු කිරීමේදී ඉතා ප්‍රවේශම් සහගත විය යුතුය.ඒ එදා ඔවුන් අද ඩයස්පෝරාවේ
වයන පදයටම නැටූ බැවිනි. ඉන්දියාවට ලංකාව සමඟ ඇති ප්‍රතිපත්තිය
"රෙකන්සිලේෂන්-හෝ-ඉන්ටර්ග්‍රිටිය",, ඉන්දියාවට "වන්දේමාතරම්..." ය.
ඊනියා ජාතික ප්‍රශ්නය විසඳීම කෙසේ වෙතත් වසර ගනණාවක් තිස්සේ අනවශ්‍ය බලපෑම්
නිසා විපරීත වූ රටක් නැවත් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පරිදි ගොඩනැංවීමට සිදුවී ඇත.මෙහිදී
ජාත්‍යන්තර සහයෝගය මනාලෙස කළමනාකරණය කරෆත යුතුය.ඒ ඔවුන්ගේ කරේ
නැගීමට යාමෙන් හෝ පාවඩ එලීමෙන් නොව කෙළින් ජාතික මතය නොසැලෙන ලෙ
ඉදිරිපත් කිරීමෙනි.

Monday, May 31, 2010

පෞද්ගලික විශ්වවිද්‍යාල සහ නිදහස් අධ්‍යාපනය


පෞද්ගලිකවිශ්ව විද්‍යාල පිහිටුවීමට රජය සූදානම් වීමත්
සමඟමදේශපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බොහෝ
අවධානයක් මෙම තේමාවට ලැබී ඇත.මෙම මාතෘකාව
දේශපාලන කරලිය තුළ වසර 20කට වැඩි කාලයක් තුළ
වරින් වර මතු වෙමින් තිබුනි.එහෙත් මෙම ගැටළුවේ ප්‍රධාන
කොටස් කරුවන් බවට පත් වී තිබුනේ රජය හා අන්තරයයි.
මෙම දෙපාර්ශවයම තම න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට
( ඔවුන්ට සාපෙක්ශ්ව ) ආකර්ශනීය කරුණු ගෙන හැර පෑ
නමුත් ප්‍රශ්නයේ යතාර්ථය මඟ හැර ඇත.
මෙවර මෙම ප්‍රශ්නයට නව මුහුණුවරක් ලැබී ඇත.එනම්
අන්තරය තම සුපුරුදු සටන් පාඨය ගෙන හැරපාද්දී රජය
අළුත් තුරුම්පුවක් ඉදිරිපත් කිරීමය.ඒ උසස් අධ්‍යාපනය
සඳහා විදේශගත වන සිසුන් නිසා පිටරටට ඇදී යන අති
විශාල මුදල ඉතිරි කිරීම සහ පවතින Z ක්‍රමය නිසා රජයේ
විශ්ව විද්‍යාල වරම් අහිමිවන සිසුන්ට ලංකාව තුළම උසස්
අධ්‍යාපන වරම් ලබා දීමයි අපි මොහොතකට මෙම කරුණු
දෙක විමසා බලමු උසස් අධ්‍යාපනය නිසා පිටරටට ඇදී
යන මුදල කොපමණද?
වාර්ෂිකව රුපියල් බිලියන 17.5 කි දළ ජාතික
නිෂ්පාදනයෙන් 0.37% කි. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති
. කිරීමෙන් මෙම මුදල ඉතිරි කර ගැනීමට නොහැකි බව
මගේ මතයයි.අප පළමුව සොයා බැලිය යුත්තේ සිසුන්
උසස් අධ්‍යාපනයට විදෙශගත වීමට ඇති සැබෑ හේතුවයි.
ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය Z ක්‍රමය නිසා ලකුණු දශම
ගනණකින් ලංකාව තුළ සරසවි වරම් අහිමි වීමද? නැත
මොවුන්ගෙන් බොහෝ දෙනා සරසවි කඩඉමට ගව්
ගණනක් ඈතින් අතරමං වූවෝය.නැතහොත් (සිටිසන්ශිප්)
පුරවැසි භාවය ලබා ගැනීමේ පහසු මාර්ගයක් ලෙස ශිෂ්‍ය
භාවය දඩමීමා කරගන්නවුන්ය.කොටින්ම කියතොත්
ලාංකිකත්වයෙන් මිදී ජාත්‍යන්තර ප්‍රවාහයට එකතුවීමට සිහින
දකින්නෝය.මෙවන් අති මහත් බහුතරය නැවත්වීමට ලංකාව
තුළ පෞ.වි.වි පිහිටුවීම අතීසාරයටඅමුඩ ගැසීමක් වැනිය.
සැබැවින්ම ලංකාව තුළ උසස් අධ්‍යාපන සිහිනය අහිමි වීම
නිසා ගේ දොර විකුණාදමා හෝ දෙමාපියන්ගේ අර්ථසාධකයේ
පිහිටෙන් විදේශගත වන අතලොස්සක් වූ මධ්‍යම පාන්තික
සිසුන් අවතක්සේරු නොකිරීම මාගේ අරමුණ නොවන බව
අවධාරණය කළ යුතුය. මෙම නව තීරණයත් සමඟ වර්තමාන
නිදහස් අධ්‍යාපනයට සිදුවන අනර්ථය මොහොතකට විමසා
බලමු.රජයේ වි.වි වල පවතින යාවත්කාලීන නොවූ විශය
නිර්දේශ ගිරා කරණය කර එන ඊනියා දේශීය බුද්ධිමතුන්ට
තරඟ කිරීමට සිදුවන්නේ කාසමඟද? නවීනතම දැනුමෙන්
පොලිශ් හෝ පොෂ් වී උපාධිය මිලට ගෙන එන ජාත්‍යන්තර
උපාධිධාරීන් සමඟය එහෙත් අන්තරය පවසන ආකාරයට
මෙම තරඟය ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකද? නැත ඒ ඔවුන්
ලංකාවේ රැකියා පෝලිමට නොව යුරෝපීය හෝ බටහිර
රැකියා බලාපොරොත්තු වී සිටින බැවිනි.එහෙත් මෙම පාර්ශව
දෙක අතර තරඟයක් ලංකාව තුළ ඇති වුවහොත් "දේශීය.
බුද්ධිමතා" තරඟයෙන් විසි වනු නියතය .මීට වගකිව යුත්තේ
ප්‍රතිපත්ති සම්පාදකයින් නොව දේශීය වි.වි. වල උපාධි
අපේක්ෂකයින්මය
එයට හේතු අපි ඉදිරියේදී විමසා බලමු. තවත් වැදගත්
කරුණක්නම් පෞද්ගලික රෝහල් වලට එන රෝගීන්
කෙරෙහි පතල වූ මහා අනුකම්පාවෙන් යුතුව රජයේ
රෝහල් අතහැරයන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස
දැනට රජයේ වි.වි වල සේවය කරන කථිකාචාර්යවරුන්
නව පෞ.වි.වි වෙත ආකර්ශනයවීමයි.
මෙයින් ඇතිවන තත්වය ඇඟිල්ලෙන් ඇන කියාදීම
අවශ්‍ය නොවේ. පොදුවේ ගත් කළ මෙම ගැටළුවට විසඳුම්
ලබා දිය යුතු පාර්ශවයක් මම දකිමි.එනම් ලාංකික
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි.මම ඔවුන් අන්තරය ලෙස
නම් නොකරන්නේ පක්ෂ කේඩරය ශක්තිමත්
කිරීම සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු මුළු මනින්ම
වියුක්ත ක්‍රියාවලි දෙකක් බැවිනි.වර්තමාන වි.වි ශිෂ්‍යයා
විත්ති කූඩුවට නංවා ඇසිය යුතු පැනයක් වන්නේ ඔවුන්
"නොමිලේ" ලබා දී ඇති සම්පත් වලින් අවම හෝ
ප්‍රයෝජනයක්ගන්නේද යන්නයි.ප්‍රායෝගික පරීක්ෂණයකට
ක්‍රියාකාරීව සහභාගී නොවන ,පුස්තකාල පහසුකම කය
පිනවීමට භාවිතා කරන , ඇගයීම් සහ වාර්තා කොපි
කිරීමේ කෙල පැමිණි "දේශීය " බුද්ධිමතුන්ගෙන්
රටට සුගතියක් බලාපොරොත්ති වියහැකිද?
ඒ අනුව බලන කල පෞ.වි.වි බිහි වීම නිසා
ඇතිවන තරඟය තුළ දේශීය වි.වි. සිසුන් තුළ "සිරාවට"
අධ්‍යයන කටයුතු කිරීමට අභිප්‍රේරණයක්ඇති වීමේ
සුභවාදී හැඟීමක්ද ඇතිවේ.කපන්න බැරි අත
ඉඹින්නාක් මෙන් මේ සුභවාදී හැඟීම සුන් වී
යන දිනය එළඹෙන තුරු අපි ඒ තුළ ජීවත් වෙමු..

Monday, April 19, 2010

අවුරුද්දට පසු වදනක්..

මේ ලිපිය ඇරඹීමට පෙර ඔබ සැමට ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් වසරක් වේවා..!යි (පුරුද්දට නොව) හදවතින්ම ප්‍රාර්ථනා කරමි.වර්තමාන අවුරුද්ද පිළිබඳ විපරීත අදහස් කීපයක් මනසට නැඟීම නිසා එය සටහනකට නැඟීමට සිතුවෙමි.කවර නම් වලින් හැඳින්වූවද සිංහල ( සමහරුන්ට සිංහල හා දෙමළ)අළුත් අවුරුද්ද ශ්‍රි ලංකාවේ වැදගත්ම සංස්කෘතික උත්සවය බව අවිවාදිතය.එහෙත් අද අවුරුද්ද යනු හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් වී ඇත.අවුරුද්දේ සැබෑ උරුම කරුවන් වන සාමාන්‍ය ජනතාවට එය අවිඤ්ඤානික චාරිත්‍ර ලැයිස්තුවකි, ඇඟලුම් පිළිබඳව මැසිවිලි වලින් එකිනෙකාට සුභ පතා ගන්නා සමයකි.

වසර තිහක යුද්ධකට පසුව ලැබූ "නිදහසේ" අවුරුද්ද ලෙස මෙය හඳුන්වනු ලැබූවද සතුටු විය හැකි වෙනසක් මෙම අවුරුද්දේදී දක්නට නොවීය. මැතිවරණ සමයක් බැවින් අවුරුදු නැකැත් ලිත් ඇති තරම් නොමිලේම ලැබිණි.එහෙත් මාගේ දැඩි අවධානයට ලක් වූ අංශයක් වන්නේ අවුරුදු සමයේ වෙළඳ ප්‍රචාරණයයි.මෙවර ඔවුහු ප්‍රධාන වශයෙන්ම් අවුරුද්ද "සාමය"ට බලහත්කාරයෙන්ම ගැට ගසා ගෙන තිබුණි.අවුරුදු 30 කට පස්සේ සිංහල දෙමල කාටත් එකට අවුරුදු කෑ හැකි බව ඔවුහු මතක් කළහ.මෙහිදී මට ඇති වූ ගැටළුවනම් අවුරුදු 30 කට පෙර මොවුන් එකට අවුරුදු කෑවෙහිද යන්නයි.(මට තාම වයස 30 සම්පූර්ණ වී නැත).

නත්තලට රක්ත වර්ණ හිම තොප්පි දමාගෙන විකුනණ පැකේජයම බක් මහට රෙද්ද සහ හැට්ටය ඇඳගෙන විකුනණ විට අපි මහත් අභිරුචියෙන් වැළඳ ගන්නෙමු.අවුරුදු "කෑමට" පමණක් අවුරුද්ද යොදා ගැනීම අපගේ පරම අමනෝඤ්ඤකමය.වෙනස් සංස්කෘතීන් දෙකක් මුහු කර කොටළු සංස්කෘතියක් බිහි කිරීම මෙම වෙළඳ සමාගම් වල අභිමතාර්ථය වේ.පසුව කොටළු සංස්කෘතියක් නිසරු යැයි බටහිර පන්ඩිතයින් විසින් අර්ථ දක්වා අවසානයේදී බටහිර සංස්කෘතියම අප කර මත පැටවීම මඟින් සුවච කීකරු වටිනා පාරිභෝගිකයින් පිරිසක් නිර්මාණය කරගැනීම ඔවුනගේ මතු සුභසිද්ධිය සඳහාමය.

අවුරුදු කාලයේ අපේ හැසිරීම මොහොතකට බලමු.නැකැත් වේලාව නිවැරදිව කියන්නේ රූපවාහිනියයි.අපි කළ ගුණ දත්තෝ වෙමු.ඉතින් මුළුමනින්ම දින දෙකක් අනිමිසලෝචනයෙන් රූපවාහිනිය පුදමු.එහි අවුරුදු විකාශය නිමා වූ පසු අපේ අවුරුද්දත් ඉවරය.අවසානයේ අප්‍රේල් මාසයේ අවුරුදු දීමනාවෙන් ඉතිරි වූ මුදල සහ තවත් ලඟ ඇති මුදල සූරා බැංකුවක හිර කර පහනක් හෝ ඔරලෝසුවක් ගෙදර ගෙන යන්නෙමු.අපේ අවුරුද්ද මෙයයි.

මේ වසරේ අවුරුදු නැකැත් අවසානය.එහෙත් අප අපේ සුපුරුදු ජීවන රටාව ඇරඹිය යුතුය.ලබන වසරේ සිටවත් විචාරශීලීව අවුරුද්ද පිළිගැනීමට අවස්ථාවක් ලැබේවායි පතමි.

Sunday, February 21, 2010

දෑස ඉදිරිපිට ගරිල්ලා මාර්කටින්


මාගේ බ්ලොග් අඩවියෙහි දෙවැනි ලිපිය මේ පිළිබඳව ලිවීමට සිදු වීම ගැන අතිශයින්ම කණගාටු වෙමි.අයහපත් සෞඛ්‍ය තත්වයෙන් වුවද ඉදිරියේ ඇති කාර්යබහුලත්වය ගැන සිතන විට මෙම ලිපිය අදම ලිවිය යුතු බව මට හැඟේ.
අද දින **** නගරයට ගිය මට සාමාන්‍යයෙන් සති අන්ත දින වලට සුපුරුදු දර්ශනයක් දැකගත හැකි විය. පපරේ සන්ගීතයක් ඇසෙයි.සවන් දෙන්නන් නැටවෙන මෝලන් හඬකින් **** නගරය ගිගුම් දෙයි.සල් පිළ් වල සිටින්නන් මඟ දෙපසට රැස් වී සිදු වන්නෙ කුමක්දැයි විපරම් සහගත නෙත් යොමා බලා සිතිති.
සිදුවන්නේ අන් කවරක් නොවේ.අළෙවි ප්‍රවර්ධන වැඩසටහනකි.වර්තමානයේ පවතින නව ප්‍රවනතාවක් වන්නේ බොහෝ සමාගම් තම අළෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සති අන්තය යොදා ගැනීමය.මෙය ඉතා ප්‍රඥාවන්ත කලමනාකරණ තීරණයක් බව බොහෝ සමාගම් ප්‍රධානීන්ගේ මතයයි. එය එසේ විය යුතුය , මක් නිසාදයත් සම්ප්‍රදායික අතිකාල දීමනාවෙන් මිදී සේවකයන්ට හොරා ශ්‍රමය ලබා ගැනීමට ඇති අලුත්ම ජිල්මාට් එකක් නිසාය.
විෂය මූලික කරුණු වලින් බැහැරව යළිත් **** නගරයට යමු. හිසේ සිට පාදාන්තය දක්වා ගෝරිල්ලන් මෙන් ඇඳ ගත් පුද්ගලයින් කීප දෙනෙකි සිය විසුළු ගතිය තවත් වැඩි කිරීමට ඔවුන් වෙස් මුහුනුද පැලැඳගෙන සිතිති. එක් අයෙක් අත $$$$ ලාංඡනය සහිත කොඩියකි . ඔවුහු පාසල් බිග් මැච් කාලය සිහි ගන්වමින් **** නගරය දෙවනත් කරමින් නටති.වීදාගම හිමියන් ලියූවේ "නටත් අයෙක් සුරා මතින්.." කියාය.එහෙත් මොවුන් නටන්නේ මුදල් මතිනි.
එක් සාප්පුවක සිට පැමිණි තරුණයෙක් පැවැසුවේ "දවසට දාහක් දෙනවනන් අපිත් ඔහොම නටන්නන්..." යනුවෙනි.ඔහුගේ එම ප්රකාශය තුළ ඔහු පවතින යාන්ත්රතණය අවබෝධකරගත් බව පෙනුණද ඒ තුළ එය විවේචනය කරන බවක් පෙනෙන්නත නොතිබිණ. අප ජීවත් වන සමාජය තුළ පවතින බරපතලම ඛේදවාචකය මෙම වදන් පෙළ තුළ ගැබ් වී ඇත.තමාගේ අතට කීයක් හෝ ලැබේනම් ඕනම නොවටිනා දෙයක් කිරීමට වර්තමාන තරුණ පරපුර පෙළඹී සිතිති.අප වෙසෙන පාරිභෝගික සමාජය විසින් අපට ඉහත හැසිරීමට බලපත්‍රය ලබාදී ඇත.
අප නැවතත් අපගේ කතාවට විෂයවන කෝලමුන් වෙතට හැරෙමු.මොවුන් බොහෝවිට දුර බැහැර ගම් වලින් පැමිණිනවුන් වියහැක. $$$$ සමාගමේම හෝ වෙනත් සමාගම් වෙත කඹුරමින් තම ජීවිතයේ හොදම කාලය දියකරහැරීමට ඔවුන්ට සිදුවී ඇත.එදිනෙදා ගැන හිතමින් ජීවත් වන මොවුන්ට තම අනාගතය ගැන කවර ආකාරයක සැලසුමක් ඇත්දැයි සිතීමත් උගහටය.එහෙත් බොහෝ දෙනෙකුට සෙලොලොයිඩ් පටයක් මඟින් ෆැන්ටසිකරණය වූ සිහිනයක් ඇති බවනම් පැහැදිලිය.
මොවුන් ගැන කල්පනා කරනවිට රුසියානු සාහිත්යතයේ සඳහන් වෙන ලුම්පනයින් යන වචනය නිර්ධය වැඩිදැයි සැකයක්ද මගේ සිතට නැඟේ. බත් පැකැට්ටුවට ටී ෂර්ට් එකට දේශපාලන තීන්දු ගන්නා රටක මෙයත් අරුමයක්ද? මේ අහිංසකයින්ට දොස් නඟන්නේ සමාගම් වලට හුණු ගාන්නදැයි ඔබ මගෙන් අසනු ඇත. නැත වසල වෙළඳ කුලයේ ත්‍රයිකාලීන හැසිරීම එයමය.
ඔවුහු නූල අදිති අතහරිති එහෙත් රූකඩය වීම හෝ නොවීම අප සතු වගකීමකි.මොවුන් පමණක් නොව මෙම සමාගම් වලට කඹුරන බොහෝ වෘතිකයින්ද රිදී කාසි සැලෙන හඬත නටති. ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට සංස්කෘතිය විෂය නොවේ එය සංවේදී වන්නේ ලාභයට පමණි.වාසනාවට හෝ අවාසනාවට අපට කටයුතු කිරීමට සිදුව ඇත්තේ මේ විෂම ආදිපත්යයයන් යටතේය. පදය කාගේ වුවද නැටීම අපට අයිති කාරණයකි.

සැ.යු: **** $$$$ බලධාරියා විසින් කපාහරිනලදී...


Friday, February 12, 2010

Face Book අනාගතය මගේ ඇසින්.....


වසරකට වැඩි කාලයක් Face Book හි සාමාජිකයෙක් වෙමි.එහෙයින් Face Book හි සිදුවන කටයුතු පිළිබඳව අවබෝධයක් ඇති අයෙකු වශයෙන් එහි අනාගතය ගැන සිතීමට පෙළඹුනෙමි. මක්නිසාදයත් එහි අනාගතය අපගේ ජීවිත වලටද බලපෑමක් එල්ල කළ හැකි තරමතම් අපගේ ජීවිට වලටබද්ධ වී ඇති බැවිනි.

විකිපීඩියාවෙන් එහි ඉතිහාසය පිටපත් කර මෙහි පිරවීම පසෙකෙ තබා අප කෙතරම් දුරට ඊට ඇබ්බැහි වී ඇත්ද යන්න සලකා බලමු.ප්‍රියයන් හා සම්ප්‍රයෝගය සැපයක් බව සනාතන සත්‍යකි. එහෙයින් Face Book භාවිතයේ වරද කිම.වරදක් නැත ප්‍රශ්නය ඇත්තේ අප එහි නිවැරදි භාවිතය හදුනා නොගැනීමයි.Face Book ගිනුමක් අපට ලැබෙන්නේ නොමිලයේ බව සැබෑය.එහෙත් නොමිලයේ යමක් ලැබෙනවිට මාගෙ මනසට නැගෙන්නේ බටහිර අධිරාජ්‍යවාදීන් විසින් අපට ලබා දුන් දායදයයි.එයින් අත් මිදීමට නොහැකිව ජාතියක් ලෙස බරපතල ගැටළු වලට මුහුණ දී සිටිමු.

Face Book හි පරිපාලන විසින් එහි ගිණුම් නොමිලයේ ලබා දෙන්නේ ම්ත්‍ර සම්ප්‍රයෝගයට වැඩි අවස්ථාවක් ලබා දීමෙන් ලැබෙන නිරාමිශ සැපයක් උදෙසාද?ලාභ ලබන සමාගමකින් එවන්නක් බලා පොරොත්තු වීම කෙතරම් දුර ප්‍රායෝගිකද?

අනෙක් බොහොමයක් වෙබ් අඩවි මෙන් මාසිකව හෝ වාර්ශිකව සාමජික ගාස්තුවක් අපට ගෙවීමට සිදු වුවහොත් කුමන තත්වයක් ඇති වෙයිද.Face Book රටක් ලෙස සැලකුවොත් ශ්‍රී ලංකාව මෙන් තුන් ගුණයකටත් වඩා එහි ජනගහනය වැඩිය. ශ්‍රී ලංකාව තුළ සියලුම දුරකතන ජාල හා තැපැල් සේවා අඩාල වූවාට වඩා තත්වය බරපතල වනු නිසැකය.

මෙය හුදෙක් හිතළුවක් ලෙස කෙනෙකුට තර්ක කළ හැක.එහෙත් වර්තමානයේ සිදුවන සිදුවීම් අපගේ පරිකල්පන සීමාවන් තුළ සැමවිටම නොපවතී.ඉහත ආකාරයේ තත්වයක් ඇති වුවහොත් උද්ගත වන තත්වය මොහොතකට සලකා බලමු.Face Book ඌනතාවයෙන් පෙළෙන මිලියන 65 ක ජනතාව වීදි බසිනු ඇත.ලොව පුරා සරසවි වල සිසුන් මෙහි මූලිකත්වය දරණු ඇත.රාජ්‍ය ම්ට්ටමේ මැදිහත්වීමකත යාමට සිදු වනු නිසැකය.එක්සත් ජාතීන්ගේ සංවිධාය තුළ විශේෂ සභා වාරයක් කැඳවීමට තරම් තත්වය බරපතල වනු ඇත.

මෙම ප්‍රවාදීය තත්වය මනාලෙස කලමණාකරනය කිරීම අප සතුව ඇති අභියෝගයකි.විවේක කාලයේ Face Book හි application සමඟ හෝ කතාවෙන් කල් මැරීමෙන් අප අපටම කරන්නා අනර්ථය මොහොතකත කල්පනා කර බලනු මැනැවි.නිදහසේ යමක් ගැන විචාරශීලීව සිතීමට ඇති කාලය Face Book වෙත පූජා කිරීමෙන් අපගේ පරිකල්පන ශක්තිය කෙතරම් දුරට හීන වෙයිද?.FM නාලිකා හෝ රූපවහිනිය යන මරු කටින්ගැලවුනද Face Book වෙත ගැලීමෙන් දීර්ඝ කාලීනව අපට සිදුවන විනාසය සුළුපටු නොවන බව මගේ හැඟීමයි.
මෙය තිත්ත බව සැබෑය එහෙත් මෙයෙ සත්‍ය නොවන ලෙසින් එක්වරම බැහැර කළ හැකි වන්නවුන් සිටිත්ද?

අනෙකුගේ නෙත් වලින් මඟ සොයා වෙහෙසිලා
ආ මඟද සොයා ගනු බැරිව වල්මත් වෙලා
යන මඟක් දත් අයෙක් වීද නොව මංමුලා
සබඳ අසනුව මැනැවි හදවතට ළං වෙලා

මූණු පොතෙන් එකතු කර ගන්න

Search

Pages